ඔබගේ සිතට කල හැකි දේ අපමණය….!!!

මේ අනන්ත සසරේ අපි පසුකර ආ සිඳුවීම් හා සබැඳි ක්‍රියාකාරකම් ප්‍රමාණය අප්‍රමාණ වේ. එහිදී අප සිත් තුලින් ඇති වී නැති වී ගිය සිතුවිලිද අප්‍රමාණය. ඒ හැම ක්‍රියාවකම, සිතුවිල්ලකම ශේෂ මාත්‍රයක් හෝ දැන් මේ මොහොතේ නොපවතී. නමුදු, එදා ඒ සිදු කරගත් කර්මයන්හි විපාක අදද අප අත් විඳින්නෙමු. එය දුකක් වුවත් සතුටක් වුවත් සම සිතින් භාර ගැනීම හැර අපට අන් විකල්පයක් නොමැත. ඒ අතරම ක්ෂණයක් ක්ෂණයක් පාසා අපි අළුතින් කර්ම රැස් කරමින් සිටිමු. කෙදිනක හෝ ඒවාගේ විපාක ශක්තියද අප කරා එනු ඇත.

පෙර දවස, මහා බලසම්පන්න අංගුලිමාල තෙරණුවන් ගිහි ජීවිතයේදී බොහෝ මිනිසුන්ගේ දිවි තොර කරමින් ගම් දනවු භීතියෙන් මුසපත් කරවමින් සිටියදී, අප මහා කාරුණික බුදු පියාණන් වහන්සේගේ කරුණා දැලට හසුව ධර්මය තුල දමනය වී, ඝෝර සසරින් ගැල වී, අමා මහ නිවනින් සැනසුන සේක. පෙරදී, “අහිංසක” නමින් ඉතා යහපත් ජීවිතයක් ගත කල උන්වහන්සේ “අංගුලිමාල සොරා” ලෙසින් එම තත්වයට පත් වූවේ තමා ලත් නරක මග පෙන්වීම නිසාවෙනි. පසුව, තථාගතයන් වහන්සේගේ නිසි මගපෙන්වීම හේතුවෙන් තමන් අතින් වෙන්නට ගිය ආනන්තර්‍ය පාපකර්මයක් වැළකුනා පමණක් නොව නිවනින් සැනසීමටද හැකි විය.

කුමන තත්වයක් යටතේදී වේවා කවෙරෙකු, කොයි අන්දමින් හෝ තවකෙකු පීඩාවට පත් කිරීම කොහෙත්ම නිවැරදි නොවේ. එහිදී, අගතියට පත් වූවන් මුහුණ දෙන වේදනාවන් දුක් කම්කටොළු, අහිමිවීම් නිමක් නොවේ. සම්මුතිය තුල සිට බලන විට තමන්ට අසාධාරණයක් කල අයෙකු පිළිබඳ කෝප ගැනීම, ඔහුට විරුද්ධව ඔහු විනාශ කර දැමීමට හෝ ඔහුට ඒ සඳහා විඳවීමට ඉඩ හැරීම ඉතා නුවණැති වීර ක්‍රියාවක් ලෙස සමාජය සිතන්නට පුළුවන. රහත් වූ පසුත් සාසන පුත්‍රයෙකු ලෙසින් මග තොට පිඬු සිඟා වඩිද්දී තමන් කල වරද කෙරෙහි කෝපයෙන් සමහර පිරිස් කළ හිරිහැර හේතුවෙන් අංගුලිමාල තෙරුණ් වහන්සේ නැවත විහාරයට වඩින්නේ ලේ පෙරෙන තුවාල සහිතවය. එනමුදු අරහත්වයට පත් වූ නික්ලේශී උතුමෙකු ලෙස උන්වහන්සේ මෙවන් ගැහැට පිළිබඳ අල්ප මාත්‍රයක හෝ මානසික පීඩාවකට පත් වන්නේ නැත. කෙතරම් කායික වේදනාවක් ලැබුනද, එසේ කරන්නන් ගැන ගැටීම් මාත්‍රයක් හෝ ඇති වන්නේ නැත. ඊට ප්‍රතිලෝමව ආර්‍යන් වහන්සේ කෙනෙකුට හිරිහැර කිරීමෙන් එම මිනිසුන් අපමණ අකුසල උපදවා ගන්නට ඇත. නිවන් මග බොහෝ ප්‍රමාද කරවා ගන්නට ඇත.

පහන්සිලක් නිවුණාක් පරිද්දෙන් අංගුලිමාල තෙරණුවන් බොහෝ කලකට පෙර තම කර්ම විපාක සියල්ල නිම කරමින් මේ දුක්ඛිත සසරෙන් සදහටම නික්ම ගොසිනි. නමුදු, උන්වහන්සේ වරක සිදු කල කර්මයකට පාඩම් ඉගැන්වීමට ගිය බොහෝ පෘතග්ජනයන් අදටද අපා දුක් විඳිමින් සසරේ සැරිසරනවා වන්නට ඇත. ආර්‍යන් වහන්සේ නමකට කල හිරිහැරවල අකුසල විපාක තව කල්ප ගණනාවකට ඔවුන් පසුපස එනු ඇත.

සත්වයා මොහොතින් මොහොත වෙනස් වේ. අද බොහෝ සත්ගුණවත් පුද්ගලයා, හෙට ආනන්තර්‍ය පාපකර්මයක් කලහැකි පරිද්දෙන්ම, අද සිටින ඉතා දරුණු අපරාධකාරයෙකු හෙට ධර්ම මාර්ගය තුල මැනවින් හික්මුණු නිවන් මගට පිළිපන් කෙනෙකු විය හැක (මා පවසන්නේ බොරුවට හික්මෙන්නන් පිළිබඳව නොවේ). මේ සිත එපමණකටම පුදුමාකාරය. අද සිටින පුද්ගලයා තුලින් අපට හෙට සිටින්නා වූ කෙනා ගැන පූර්ව නිගමනයකට එළඹෙන්නට කිසිසේත්ම නොහැක. අන් කෙනෙකුගේ සිතක් පිරිසිඳ දක්නට හැකියාවක් නොමැති අපට දළ බාහිර ස්වරූපයෙන් කිසිවෙකුගේ නියම ස්වාභාවය පිළිබඳ නිවැරදි නිගමනයන්ට එළඹීමද ඉතා අපහසුය. වටහා ගත යුතුව ඇත්තේ අප කවුරු කවුරුත් තම තමන්ගෙ කර්ම ගෙවමින්/රැස් කරමින් සිටින බව සහ අපගේ පාලනයෙන් තොර ඒකාන්ත වශයෙන් අනිත්‍ය වූ මෙම ධර්මතාවයන් කෙරෙහි මැදහත් වීම අපගේම යහපතට හේතු වන බවයි.

අපගේ තිලෝගුරු සම්මා සම්බුදුපියාණන් වහන්සේ සමාව දීම, මෛත්‍රිය කිරීම අප හට පෙන්වූයේ ආදර්ශයෙන්මය. කල්ප ගණනාවකට පෙර තමන් කෙරෙහි නිස්කාරනේ වෛර බැඳ සසරේ කෙළවරක් නොමැතිව හිංසා පීඩා කරමින් පසුපස ආ දෙව්දතුන්ටද උන්වහසේ දැක් වූයේ තම අගසව් දෙපල පිළිබඳ මෙන්ම සමාන කරුණා මෛත්‍රියකි. බුදුන්වහන්සේම වරක් වදාල පරිදි, තමන්වහන්සේ විසින් සසරෙන් එතර කරවීම පිණිස දෙව්දතුන්ගේ තරම් පිරික්සා බැලූ අන් සිතක් නොමැති තරම්ය. එම අපරිමිත කරුණාව නිෂ්ප්‍රයෝජන නොවන්නේ අවසන සත්‍ය වටහාගෙන බුදුන් සරණ ගිය දෙව්දතුන්ද එම පුණ්‍ය මහිමයෙන් තම පාපයන් ගෙවුනු පසු පසේ බුදුවරයෙකු ලෙසින් සසරින් එතර වන බැවිනි.

රටක සමාජයක නීතිය එකකි. අප එයට කීකරු විය යුතුය. එයට අනුකූලව ජීවත් විය යුතුය. සමාජීය විනය පවත්වාගෙන යෑමට සැමට සාධාරණ නීති සහ දඬුවම් ක්‍රම ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍ය වේ. එනමුදු ඊට පරිබාහිරව, බාහිර කෙනෙකු අතින් සිදු වූ වරදක් හෝ අපගේ පාලනයෙන් තොර සිඳුවීමක් අල්ලාගෙන ද්වේශයෙන්, වෛරයෙන් පැසවමින් කටයුතු කිරීමෙන් අපට අහිමි වන්නේ අපගේ සිතේ සැනසීමය. අපගේ සිතේ සතුටය. ඇහිරෙන්නේ අපගේ නිර්වාන මාර්ගයය. බුදුන්වහන්සේ වදාලේ තමන්ගේ අතපය කියතකින් වෙන්කරන්නෙකු කෙරෙහි හෝ ද්වේශ සහගත වන්නා තම ශාසන ප්‍රතිපත්ති පූරනය නොකරන්නෙකු බවයි. බුදු කෙනෙකුගෙ මෛත්‍රී ශක්තිය අපට සිතා ගන්නට පවා නොහැකිය. උන්වහන්සේ දෙසූ මග අප යනවා නම් මොනම හේතුවකට හෝ කවරෙකු පිළිබඳව හෝ වෛරී සිතක් ඇති කර ගැනීමට අපට කිසිම අයිතියක් නැත. එපමණ උතුමෙකුට කල්ප ගණනාවක් පුරාවට අප වෙනුවෙන් මෛත්‍රිය පාරමිතාවක් ලෙසින් අත් පා කන් නාසා සහ අවසන ජීවිතය පවා අහිමි වෙත්දීත් ආරක්ෂා කරන්නට හැකි වූවා නම්, තමගේම යහපත උදෙසා මෛත්‍රිය වඩන්නට අපට නොහැකි වන්නේ ඇයි? අප මොහොතකට හෝ වඩනා මෛත්‍රී ශක්තිය කිසිදු අයුරකින් හෝ අපතේ යන්නේ නැත. එය අපට මෙන්ම අප අවට සමාජයටද එක් කරන්නේ ශාන්තියකි. සැනසීමකි. මේ කාලයද අපට එවන් වූ ශාන්තියක්. සැනසීමක් අත්‍යවශ්‍ය වන වකවානුවකි. ඔබම සිතන්න.

ඔබගේ සිතට කල හැකි දේ අපමණය….!!!

~ අමා සුව ~

Leave a comment