ඇසට දකින්න පි‍්‍රයකරන, කනට අසන්නට පි‍්‍රයකරන, මනසින් විඳින්න පි‍්‍රයකරන, මොනතරම් සුන්දර දේවල් ලෝකයේ තිබෙනවාද, සමහරක් පිංවත් මනුෂ්‍යයෝ මොන තරම්, සුන්දර සැපයක් අත්විඳිනවද, අපි අත්විඳින හැම සැපයක් පසුපසම, සැඟවුණ සුන්දර ධර්මයේ අර්ථයක් තිබෙනවා. අපි පින කියලා කියන්නේ එම සුන්දර ධර්මයේ අර්ථයට පින අනිත්‍ය වූ සංස්කාරයක් වුණත්, පින විපාක දෙනකොට, පිනමයි සැපයට අහුවෙන්නේ.

පින,සැපයට කියන තවත් නමක් වුවත්. පින ලෝභ, ද්වේෂ, මෝහ, අකුසල් මූලයන්ගෙන් පෝෂණය වුණොත් සැපයට හේතුවෙන පිනම, දුකට හේතුවෙන ගින්දරක්ම වෙන්න පුළුවන් බව, ධර්මයේ සඳහන් වෙනවා.

තෙරුවන් කෙරෙහි සද්ධාවෙන්, ගරුත්වයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන්, සකසා, විසිතුරුව, ප‍්‍රනීතභාවයෙන් සිදු කරන පිංකම්, පෙරලා විපාකයට පැමිණෙන්නේ, සුගතියට අදාළව කාමලෝකයේ, ආයුෂය, වර්ණය, සැපය, බලට අදාළවමයි. බෞද්ධ සමාජයේ ජීවත් වෙන සත්පුරුෂ පිංවතුන්, පිංකම් සිදු කරනවා දකිනකොට භික්‍ෂූන් වන අපිට සතුටක් ඇති වෙනවා. සත්පුරුෂ පිංවතුන්ලා, ආයුෂය, වර්ණය, සැපය, බලය, වැඩි වැඩියෙන් ලබන කොට, එය සමාජයට, රටට සම්මාසම්බුද්ධ ශාසනයට ආරක්‍ෂාවක්මයි, යහපත්කමයි.

බුදුරජාණන්වහන්සේ සත්පුරුෂයා වශයෙන් දේශනා කරන්නේ, යම් පිංවතෙක් සම්මාදිට්ඨියෙන් පෝෂණය වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩයිද ඔහු සත්පුරුෂයායි. බුදුරජාණන් වහන්සේ, සත්පුරුෂයාටත් වඩා සත්පුරුෂයා වශයෙන් හඳුන්වන්නේ, සම්මාදිට්ඨියෙන් පෝෂණයවූ, සම්මා ඥාන, සම්මා විමුක්තීන් සාක්‍ෂාත් කොටගත්ත පිංවතාටයි.

බුදුරජාණන් වහන්සේ අසත්පුරුෂයා වශයෙන් හඳුන්වන්නේ යමෙක් මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයිද, ඔහු අසත්පුරුෂයායි. බුදුරජාණන් වහන්සේ, අසත්පුරුෂයාටත් වඩා අසත්පුරුෂයා වශයෙන් දේශනා කරන්නේ, යමෙක් මිථ්‍යාදෘෂ්ඨි ඇත්තේ, මිච්ඡා ඥාන, මිච්ඡා විමුක්ති වඩයිද, ඔහු අසත්පුරුෂයාටත් වඩා අසත්පුරුෂයායි. ආර්ය ධර්මය තුළ නිවැරදිව ස්ථානගත වෙච්ච සත්පුරුෂයා, පින තුළින් තමා ලබන ආයුෂ, වර්ණය, සැපය, බලය, පෙරලා යොමු කරන්නේ, සත්පුරුෂ ධර්මයන්ගේ ආරක්‍ෂාව උදෙසාමය.

නමුත් ආර්ය ධර්මයන් සරණ නොගිය, අසත්පුරුෂ පුද්ගලයන්, පිංකම් සිදු කරන්න පටන් ගත්තොත්, එම අසත්පුරුෂ පිංවතුන් ලබන්නා වූ ආයුෂය, වර්ණය, සැපය, බලය, පෙරලා යොමු කරන්නේ, අසත්පුරුෂ ධර්මයන්ගේ පෝෂණය උදෙසාමය. එය හරියට, වසවර්ති මාරයා සහ මාර පිරිස, පිංකම් සිදු කිරීමට පටන් ගන්නා වගේ භයානක කි‍්‍රයාවකි.

ධර්මානුකූල හේතුඵල ධර්මයන්ට යටත්ව, සකස් වෙන ඉහත ධර්මතාවන් සම්බන්ධයෙන්, භික්‍ෂුව ඇඟිල්ල දිගුකරලා කාටවත් චෝදනා කරන්නේ නැහැ. සමාජය තුළ කි‍්‍රයාත්මක වෙන සත්පුරුෂ ධර්මයන්ගේත්. අසත්පුරුෂ ධර්මයන්ගේත්. සැබෑ රුව ගුණ, පිංවත් ඔබට නිවැරදිව හඳුනාගෙන, නිවැරදිවීම උදෙසාමයි, ඉහත සටහන තැබුවේ. මිත්‍යා දිට්ඨියෙන් පෝෂණය වූ, මිච්චා හැසිරීම්වලින් යුත් පුද්ගලයා, සමාජයට ලොකු අනතුරක්මයි. මෙවැනි මිච්ඡා හැසිරීම්වලින් යුත් අසත්පුරුෂ පුද්ගලයා සිතනවා. මම කුලවත්, මම ප‍්‍රසිද්ධයි, මම විනයගරුකයි, මම බහුශ‍්‍රැතයි. මාව හැමෝම පිළිගත යුතුයි. මම නිවැරදියි කියල. මෙම ගතිගුණ අසත්පුරුෂ භාවයේ ලක්‍ෂණයන්ය කියලා, ධර්මයේ සඳහන් වෙනවා. අද උදෑසන භික්‍ෂුව පිණ්ඩපාතය පිළිගැනීමෙන් අනතුරුව පැමිණ සිටි, පනහකට වැඩි පිංවතුන්ලාට, පුණ්‍යානුමෝදනාවන් සිදු කොට, අවසානයේ ප‍්‍රාර්ථනා කළේ, නිවන් අවබෝධය ලබන තුරාවට, අසත්පුරුෂ ආශ‍්‍රයන්, පාපමිත‍්‍ර ආශ‍්‍රයන් නොලැබේවා යැයි කියලා මහා ගින්නකට, මහා ගංවතුරකට කරන්න පුළුවන් විනාශයකට වඩා, විනාශයක්, අසත්පුරුෂ පුද්ගලයකුට සමාජයට, රටට සිදු කරන්න පුළුවන් බව පිංවත් ඔබ තේරුම්ගත යුතුයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආර්ය ධර්මයේ නොහැසිරෙන, ආර්යයන් වහන්සේලා ඇසුරු නොකරන, අසත්පුරුෂ පුද්ගලයා, රූපය ආත්මය වශයෙන් දකිනවාය කියලා, වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණ ධර්මතාවන්. ආත්මීය වශයෙන් දකිනවාය කියලා. පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි ඇති කොට ගන්නා, කෙල හලන තෘෂ්ණාව, සමාජ ආරක්‍ෂාව කෙරෙහි, සමාජ යහපත කෙරෙහි ඇති සියලූම ගුණාත්මක ධර්මතාවන් විනාශකොට දමනවා. වරක් ස්වාමින්වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, පංචඋපාදානස්කන්ධය කුමක් මුල් කොට ගෙන ඇතිවෙනවාද කියලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෘෂ්ණාව මුල්කොටගෙනයි, පංචඋපාදානාස්කන්ධය සකස් වෙන්නේ කියලා පංචඋපාදානස්කන්ධය කෙරෙහි යම් චන්දරාගයක් වෙත් ද, එයයි එහි උපාදානය කියලා. බුදුරජාණන්වහන්සේ උපාදානය වශයෙන් දේශනා කරන්නේ බැඳී යාමයි. කුමකටද අති තෘෂ්ණාවෙන් බැඳී යන්නේ එයයි උපාදානය. සත්වයා, කාමයන් කෙරෙහි බැඳී යනවා, දෘෂ්ඨින් කෙරෙහි බැඳී යනවා. මතවාදයන් කෙරෙහි බැඳී යනවා. වැරදි ශීලවෘතයන් කෙරෙහි සත්ත්වයා බැඳී යනවා. බුදුරජාණන්වහන්සේ, රූපස්කන්ධය පැනවීමට හේතුව, සතර මහාධාතුව වශයෙන් දකින්න නැහැ. වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, පැනවීමට හේතුව, ස්පර්ශය බව දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණස්කන්ධය පැනවීමට හේතුව. නාමරූප ධර්මයන් බව දකින්නේ නැහැ. ධර්මය කෙරෙහි නිවැරදි දැක්ම හෙවත්, දිට්ඨි විශුද්ධිය පිරිසිදු නොවීම නිසාම, ආත්මීය දිට්ඨියේ මමත්වයේ දැඩි භාවය අසිහියෙන් පෝෂණය කොට ගන්නවා.

maharahathunඅසත්පුරුෂභාවයට පත්වූ පුද්ගලයකුගේ, ආත්මීය දිට්ඨියෙන් පෝෂණය වූ මමත්වයේ දැඩි භාවය, ශක්තිමත් වෙන ප‍්‍රමාණයට, , එම අසත්පුරුෂ පුද්ගලයා, සමාජයට ප‍්‍රකට කරන්නේ, තමන්ගේ චිත්ත විශුද්ධියේ, ශීල විශුද්ධියේ බිඳවැටීමයි. මේ සියල්ලටම හේතුව වශයෙන් බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ, ලෞකික ප‍්‍රඥාවට අදාළව දේශනාකොට තිබෙන සම්මාදිට්ඨියේ සහ සම්මා සංකප්පයන්ගේ දුර්වලතාවයන්මයි.

තමා තමාට කෘතවේදී වෙන, තමා තමාට අනුකම්පාව දක්වන, පිංවතුන්, කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය තුළින් සකස්කොට දෙන, සම්මාදිට්ඨි සහ සම්මා සංකප්පයන්ගේ තීරණාත්මකභාවය, ධර්ම මාර්ගය පුහුණුවීමේදී නුවනින් තේරුම් ගන්න දක්‍ෂ වෙන්න ඕනේ. මේ දක්‍ෂභාවය දුර්වල වූ තැන, රූපය ඇසුරින් සකස් වෙන ආයුෂයත් මගේ කොට ගන්නවා. වර්ණයත් මගේ කොට ගන්නවා. සැපයන් මගේ කොට ගන්නවා. බලයත් මගේ කොටගන්නවා. ජනපි‍්‍රයභාවයනුත් මගේ කොට ගන්නවා. මේවා මගේ ආත්මය කොට ගන්නවා. මේවා තුළ මම සිටිනවාය කියලා ගන්නවා. මේවා ස්ථිර, සැප, සුභ, දේවල් හැටියටම ගන්නවා. මෙවැනි පුද්ගලයන් ඉහත අධාර්මික, ධර්මයන් ගුරුකොටගෙන, තමා තමාවත්. තමා අනුන්වත් අසත්පුරුෂභාවයන්ටම යොමු කොට ගන්නවා. සත්වයා පුහුණුකොට ගන්නාවූ, මේ විකෘති ධර්මයන් නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උතුම් සෝවාන් ඵලයට පත් නොවූ සෑම පිංවතෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවාය කියලා.

රටක් පාලනය කරන පිංවතුන්ලාගේ බඹසර හැසිරීම කියන්නේ, එම පාලක පිංවතුන් ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත්ව හැසිරීමයි. බඹසර හැසිරීම කියන වචනයේ සැබෑ අර්ථයට අනුව දැකීමේදී අපේ රටේ, රට කඩාගෙනම දුවන්නට හදන සමහරක් පාලක පිංවතුන්ලා තුළ බඹසර කියන අර්ථය ගෑවිලාවත් නොමැති බවක් පෙනෙන්නට තිබෙනවා. භික්‍ෂුව මේ සටහන් තබන්නේ වැරදි ඇතොත් නිවැරදි කොට ගැනීම උදෙසාමයි.

ඕනෑම අසත්පුරුෂ ධර්මයන් වචන පිංවතෙකුට, කල්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය ඔස්සේ සත්පුරුෂයෙක් වීමේ නිදහස, ධර්මය තුළ විවෘතව තිබෙනවා.. අපේ මනුෂ්‍ය ජීවිත කියලා කියන්නේ අතීත පටිච්චසමුප්පන්න සංස්කාර ගොඩක එකතුවක් පමණක්මයි. අතීත සංස්කාර හේතුවෙන් සකස් වෙන දැනීම් හෙවත්, විඤ්ඤාණයන් ඔස්සේ, අපි නැවත නැවත භවය සකස්කොට දෙන, සංස්කාරයන්ම රැස්කොට ගන්නවා. විඤ්ඤාණය සළායතනයන්ගෙන් යම් ආයතනයක බැසගෙන තිබෙනවාද, එම පටිච්චසමුප්පන්න විඤ්ඤාණය පසුපස, අප‍්‍රකටව සංස්කාරයන්ද බැසගෙන තිබෙනවා. පස්සය සකස්වෙන්නේ, අධ්‍යාත්මික රූපයන්. බාහිර රූපයන් විඤ්ඤාණයන් එකතුවීමෙන් වුවත් මේ පස්සය තුළත් සංස්කාරයන් බැසගෙන තිබෙනවාමයි. මොකද සංස්කාර හේතුවෙන්මයි. විඤ්ඤාණය සකස් වෙන්නේ. ඒ වගේමයි. විඤ්ඤාණය හේතුවෙන්මයි නාම රූප ධර්මයන් සකස් වෙන්නේත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

ඉහත ධර්මතාවයන්ට අදාළව අපි තේරුම්ගත යුතුයි අපේ සෑම මනුෂ්‍ය කි‍්‍රයාකාරකමක් පසුපසම අතීත සංස්කාරයන් හේතුවෙන් සකස් වුණ දැනීම් බැසගෙන තිබෙනවාය කියන කාරණය. ඒ නිසාම අපි දක්‍ෂ විය යුතුයි. අපි පටිච්චසමුප්පන්නව ප‍්‍රගුණ කළ, වර්තමානයේ අපි තුළ තිබෙන, උපන් රටට, අහිතකර වැරදි දෘෂ්ටියෙන් මිදෙන්න.

අපේ ජීවිත ඉදිරියට පැමිණෙන සමහරක් ප‍්‍රශ්න අනුන් ඇති කළා වූ ප‍්‍රශ්නයන් වුවද, එම ප‍්‍රශ්න හේතුවෙන්, ඔබ අත් විඳින්නා වූ දුක් වේදනාවන් ඔබේම. ඵටිච්චසමුප්පන්න අකුසල් විපාකයන්ගේ ඵලයන්මය. නමුත් ඕනෑම ප‍්‍රශ්නයක්, මොන තරම් ව්‍යාකූල වුවද, එම ප‍්‍රශ්නය ධර්මානුකූලව ‘හේතුඵල ධර්මයන්ට අදාළව, විග‍්‍රහකොට ගන්නා කළ ඕනෑම ව්‍යාකූල ප‍්‍රශ්නයක් හරිම සුන්දර ධර්මයේ අර්ථයක්ම වෙනවා. සමාජය නිරතුරුව මතු කොට දෙන ප‍්‍රශ්න තුළින්, පිංවත් ඔබ ඇලීම් ගැටීම් දිශාවට නොයා ඔබට පුළුවන්නම් එම ප‍්‍රශ්න, ධර්මයේ උපේක්‍ෂාවෙන් දකින්න එම දක්‍ෂභාවයන් සුන්දර සත්පුරුෂ ධර්මයක්ම වෙනවා.

අපි උතුම් සෝවාන් ඵලයට පත්වෙන මොහොත දක්වා, අපායගාමී වැරදි කරන ස්වභාවයෙන් මිදිලා නැහැ. ඒ නිසාම අපි. උතුම් සද්ධර්මය අපගේ නිවැරදිවීම උදෙසාමයි ප‍්‍රයෝජනයට ගත යුත්තේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා බුදුරජාණන්වහන්සේලා චීවර, පිණ්ඩපාත, සේනාසන, ඖෂධ යන සිව්පසය උදෙසා භවයේ සැපවර්ණනා කිරීම උදෙසා ධර්මය දේශනා කරන්නේ නැහැය කියලා. බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයාට කරුණා-වෙන්මයි අනුකම්පාවෙන්මයි, හිතෛෂීභාවයෙන්මයි දහම් දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සත්තිස්බෝධිපාක්‍ෂික ධර්මයන් වඩමින්, වාද විවාද නොකර, සමාජයට පූර්වාදර්ශී ජීවිත ගත කරන්න කියලායි බුදුරජාණන් වන්සේ අපිට අවවාද කොට තිබෙන්නේ.

ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…
තෙරුවන් සරණයි

සියළුම ලිපි සඳහා පිවිසෙන්න: www.maharahathunwadimagaosse.org

Leave a comment