
ප්රශ්නය :-
ගරු ස්වාමීන් වහන්ස, අද සමාජයේ තියෙන ඉතා දරුණුම, බොහෝ ගැටීම් ඇතිවන ප්‍රශ්නයක් තමයි මේ මස් මාංශ ආහාරයට ගැනීම පාපයක්ද..? තමන් අනුභව නොකර අනුන් සඳහා පිළියෙළ කිරීම පාපයක්ද..?
පිළිතුර:-
අනුභව කිරීම පාපයක් කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නෑ. අපට කියන්න තියෙන්නෙ බුදුරජාණන් වහන්සේ කියූ දේ. අපේ තනි කැමැත්තට අපට ධර්මයක් කියන්න බැහැ. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නෙ කැමති නම් මස්, මාළු කන්න. අකමැති නම් මස්, මාළු නොකා ඉන්න කියලයි.
මගේ ගිහි ජීවිතයේ මට පැවිදි වෙන්න ඉස්සර වෙලා අවුරුදු පහක්, හයක්, හතක් වගේ කාලයක් මං මස් මාළු කෑවේ නෑ. මට මාළු කෑල්ල දකිනකොට එක පාරටම මාළුවෙක් පේනවා. කුකුල් මස් කෑල්ල දකිනකොට එකපාරටම කුකුලෙක් පේනවා. ඒ නිසා මම කෑවේ නෑ. පැවිදි වෙලා මුල් කාලවලත් මම වැළඳුවේ නැහැ. නමුත්, පැවිදි වෙලා යම් දවසක් යනකොට අපි ඉන්නේ මුලාවක කියලා තේරුණා. මොකද බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙ පහල වෙන්නෙ මේ හුදු පින ගැන කියන්න නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනෑ. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ හුදු පින ගැන කියලා පින කියන තැන ලෝකයා නතර කරන්න නෙවෙයි.
බුදුරජාණන් වහන්සේ නමක් සාරාසංඛ්‍ය කල්ප ලදි ගාණක් පෙරුම් පුරන්නේ පින කියන තැන අපව කොටු කරලා තියන්න නෙවෙයි. අපි දැන් මේ පින කියන කොටුවෙ කොටු වෙන්න තමයි මේ හදන්නෙ මේ මස් මාංශ ප්‍රශ්නය තුළ, බුදුරජාණන් වහන්සේ හදන්නේ මේ කොටුවෙන් අපව බැහැර කරන්න. කොටුවෙන් බැහැර කරලා මේ පිනත් විදර්ශනා නුවණට ලක් කරලා විදර්ශනා ඥාණය සකස් කරලා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට පහල වෙන්නෙ. ප්‍රඥාව ඇතිකර ගන්න. හුදු පින කියන කාරණයෙන් බැහැර වෙලා පිනේ අනිත්‍යභාවය ලෝකයාට කියලා විදර්ශනා නුවණ සකස් කරලා දෙන්න ප්‍රඥාව ඇති කරවලා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහල වෙන්නෙ. තේරුණාද…?
නමුත් මේ මස් මාංශ ප්‍රශ්ණයේ දී අපි ප්‍රඥාව කියන කාරණයෙන් හැම වෙලාවෙම බැහැරට යනවා. දැන් මම මෙතන දානෙ වළඳනවා. දානෙ වළඳනකොට දැන් මේ පාත්තරය ඇතුළේ මාළු කූරියෙක් ඉන්නවා. බැදපු මාළු කූරියෙක්. මහත්තයා නිර්මාංශ කෙනෙක්. මහත්තයා දැකලා කියනවා හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ මැරිච්ච සතෙක්ව කනවා මේක පාපයක් නේද…??? කියලා. එතකොට මම මහත්තයාට කියනවා මහත්තයෝ මෙතන මැරිච්ච සතෙක් නැහැ. දැන් මෙතන මාළු කූරියෙක් තියෙනවා. නමුත් මම කියනවා නෑ… මෙතන මැරිච්ච සතෙක් නැහැ. මේ මාළුවා මේ වෙලාවෙ දෙවියෙක් වෙලා ඉපදිලා ඉන්න පුළුවන්. මේ මාළුවා මේ වෙලාවෙ මනුස්සයෙක් වෙලා ඉපදිලා ඉන්න පුළුවන්. මේ මාළුවා මේ වෙලාවේ නැවත මාළු බිත්තරයකම උත්පත්තියක් ලබන්න පුළුවන්. එහෙනම් මහත්තයා අපි මේ රණ්ඩු වෙන්නෙ කොහෙවත් ඉපදිලා ඉන්න සතෙක් වෙනුවෙන් නේද..?
නමුත්, ආයිමත් මගෙන් මහත්තයා අහනවා නෑ හාමුදුරුවනේ, මෙතන දැලකට පැටලිල මරපු මාළුවෙක් ඉන්නවනේ කියලා… ඔව් ඉන්නවා. තේරුණාද..? එයාව දැලට අහුකරගත්ත මනුස්සයෙක් ඉන්නව නම් අහුකරගත්ත කෙනාට ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙනවා. එයා දැලට අහුවුණේ මහත්තයෝ එයාගේ සංස්කාර නිසා. තේරුණාද..? සමහර දරුවන් ඉන්නවා මවු කුසේදීම ඒ දරුවන් මිය යනවා. සමහර දරුවන් ඉන්නවා ඉපදෙන මොහොතේ මැරෙනවා. සමහර දරුවන් ඉන්නවා අවුරුද්දෙදි, දෙකේදි, තුනේදි, හතරෙදි මැරෙනවා. ඇයි ඒ..? සංස්කාර. එයාට ඊට වඩා ජීවත් වෙන්න බැහැ. එයා පෙර සංසාරෙ කළා වූ අකුසල් විපාකයන්. එහෙම නම් මහත්තයා මේ මාළුවා දැලට අහු වුණේ එයාගේ අකුසල් සංස්කාරයන් නිසයි. එයාට ඊට වඩා ජීවත් වෙන්න තිබ්බේ නැහැ.
මුහුදේ නැද්ද අවුරුදු 10 ක් ජීවත් වෙන මාළු..? මුහුදේ නැද්ද අවුරුදු 50 ක් ජීවත් වෙන මාළු..? මුහුදේ නැද්ද අවුරුදු 100 ක් ජීවත් වෙන මාළු..? මං වගේ දහ ගුණයක්, විසිපස් ගුණයක් විශාල මාළු මූදේ නැද්ද? ඒගොල්ලො කොහොමද ජීවත් වෙන්නෙ? ඒ ඒගොල්ලන්ගේ කුසල් සංස්කාර. ඒගොල්ලන්ට දීර්ඝායුෂ තිබ්බ. අරයා මැරෙන්න තිබ්බා. මැරෙන්න තිබ්බ නිසායි එයා දැලට අහුවුණේ. එච්චරයි එතන වෙන දෙයක් වුණේ නෑ. එහෙම නම් කවදා හරි දවසක තිරිසන් සතෙක් වෙලා කෙනෙක් උපදින්නේ එයාගෙ අකුසල් විපාකයන් නිසාමයි. දැන් මේ ජීවිතයේ කුකුල් මස් කඩේක කුකුළො මරණ කෙනා දවසට කුකුළන් 100 ක්, 200 ක් මරණවා. එතකොට දවසට 100 ක්, 200 ක් කුකුල්ලූ මරණ කෙනා අවුරුදු 25 ක් කුකුල්ලූ මැරුවොත් කොච්චර කුකුලන් ගණනක් මරයිද? දැන් මේ මනුස්සයා මැරිලා ගිහිල්ලා දෙවියෙක් වෙයි කියලා මහත්තයා හිතනවද..? මනුස්සයෙක් වේය කියලා හිතනවද..? කුකුළෙක් වෙලාමයි උපදින්නෙ. ඇයි කුකුළෙක් වෙන්නෙ..? මැරුම් කන්න. කුකුළො මැරුව. එයා මැරුම් කනවා. දැන් හරකෙක් වෙලා ඉපදෙන්නෙ කවුද..? හරක් මරපු කෙනෙක්. ඇයි..? මැරුම් කන්න….!
එහෙනම් මහත්තයො කර්මය, කර්ම විපාකය අපට නවත්තන්න බැහැ. ඒක අපට නවත්තන්න බැහැ. මොකද එයාගෙ අකුසලයක් එයාට විපාක දෙන්නෙ. මහත්තයා කුකුල් මස් කඩේට ගිහිල්ල පෙට්ටියෙ, කූඩුවෙ දාල ඉන්න කුකුලෙක් පණ පිටින් අරගෙන ගෙදර ගෙනියනවා, මං මෙයාව මරන්න දෙන්නෙ නෑ කියලා. මහත්තයා හිතනවා ඒ ජීවිතය මරණයෙන් ගලවා ගත්තා කියලා. නමුත් එයා ගෙදර ගිහිල්ලා දවස් 45 ක් ගියාට පස්සෙ එයා මැරිලා යනවා. මැරිලා ආයිමත් ගිහිල්ලා කුකුල් බිත්තරයකමමයි ඉපදෙන්නේ. ආයිමත් එයා මැරුම් කනවා. මහත්තයට පුළුවන් වුණාද ඒ ජීවිතය ගලවන්න. ඕක තමයි මෝහයයි, ප්‍රඥාවයි අතර තියෙන වෙනස. අපි යම් දවසක අවබෝධ කරගන්න ඕන මේ ඇස මගේ නොවෙයි කියලා. මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය මගේ නොවෙයි කියලා. මට අයිති නෑ කියලා මං අවබෝධ කර ගන්න ඕන. මේ රූපය තුළ සත්ත්වයෙක් පුද්ගලයෙක් නෑ. හේතුඵල ධර්මයෙන් හැදුන දෙයක් කියලා අපි අවබෝධ කරගන්න ඕන. එහෙනම් මේ රූපය තුළ මම නැහැ කියල යන්න යන ගමනෙදි මස් කෑල්ලක් තුළ කුකුලෙක් ඉන්නවා කියලා දැක්කොත් මේ ගමන යන්න පුළුවන්ද..? මාළු කෑල්ලක් තුළ මාළුවෙක් දකිනව නම් අපට මේ ගමන යන්න පුළුවන්ද..?
දැන් රහතන් වහන්සේ කෙනෙක් ලෝකයෙ ඉන්නව නම්, එයාට දානෙට මාළු කෑල්ලකුත් පූජා කරනවා. කැරට් වෑංජනයකුත් පූජා කරනවා. මැල්ලූමකුත් පූජා කරනවා. පොළොස් වෑංජනයකුත් පූජා කරනවා. එතකොට මහත්තයා තමයි මේක කැරට්, මේක මාළු, මේක පොළොස් කියලා වෙන් කරලා දකින්නෙ. නමුත් රහතන් වහන්සේ දකින්නේ එයාට මේ සියල්ලම සතර මහා ධාතුවක් විතරයි. එයා බෝංචි දකින්නේ යම් සේ ද මාළු කෑල්ලක් දකින්නෙත් එහෙමමයි. මොකද එයා සත්ත්ව පුද්ගල සංඥාව බැහැර කරපු කෙනෙක්. එයා තුළ තියෙනවා නම් මේක මාළු කෑල්ලක් කියන සංඥාව, එයා තවම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන නැහැ. ඉතින් අපි ඔතනටයි යන්න ඕන.
දැන් මම එක ආරණ්‍යයක ඉන්න කොට දැන් දානෙ වළඳන වෙලාව. දානෙ වළඳලා මී කිරි වළඳනවා. ඔතනට ආගන්තුක ස්වාමීන් වහන්සේ කෙනෙකුත් ඇවිල්ල හිටිය. ඒ ස්වාමීන් වහන්සේ මීකිරි වළඳනකොට කියන්න ගත්ත ඊයෙ මම ආරණ්‍යයට එන කොට අර කැලේ මැද්දේ මී හරකෙක් මැරිලා කුණුවෙලා ගඳ ගහනවා. සත්තු කනවා. ඒ පැත්ත පළාතේ ඉන්න බෑ කියලා. මේ මී හරකා මළකුණ ගැන කිව්වා. කියන කොටම අර කිරි වළඳ වළඳ හිටපු හාමුදුරුවො ඉකේයිය කියලා මීකිරි කෝප්පේ පැත්තකින් තිබ්බා. ඇයි..? කිරි කෝප්පය තුළත් මී හරකෙක් දැක්ක. ඒක තමයි ආත්මීය සංඥාව කියන්නෙ. ඔතන බිඳින්නයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අපට දේශනා කරන්නෙ. නමුත් මස්, මාළු කන්න එපා. මම කියනව ඕන කෙනෙකුට කන්න එපා කියලා. නමුත්, බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා නැහැ. මමත් නොකා හිටියා තේරුණාද..? අපේ පාත්තරයට උදේට පිණ්ඩපාතෙ යද්දි පොල් සම්බෝලයි, බතුයි ටිකක් බෙදුවොත් තමයි කැමැත්තෙන්ම වළඳන්නෙ. තේරුණාද..?
නමුත් කවදාක්වත් අපට මේව ලැබේවා කියලා හිතාගෙන අපි උදේට එළියට බහින්නෙ නැහැ. කවුරුහරි අපට හාල්මැස්සෙක්, මාළු කෑල්ලක් පූජා කළා කියලා අපි ඒක ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. නමුත් ඒක කවදාක්වත් අපි හාල්මැස්සෝ, මාළු හැටියට දකින්නෙ නැහැ. මොකද මේ තෘෂ්ණාව නැති කරගන්නා වූ ගමනක් අපි යන්නෙ. තෘෂ්ණාව තියෙන්නෙ මාළු කෑල්ලෙවත්, පොළොස් වෑංජනේවත්, පරිප්පු වෑංජනේවත් නෙවෙයි. තෘෂ්ණාව තියෙන්නෙ ඒ වෑංජනය කෙරෙහි අපි තුළයි තෘෂ්ණාව සකස් කර ගන්නෙ. එහෙනම් අපි මාළු කෑල්ලෙන් බැහැර වෙලා පොළොස් වෑංජනයට තෘෂ්ණාව සකස් කර ගත්තොත් එකත් තියෙන්නේ තෘෂ්ණාවමයි. නමුත් තෘෂ්ණාවයි අපි නැති කරගන්න ඕන. තෘෂ්ණාවයි දුක සකස් කරන්නෙ. එහෙනම් ඉලක්ක කරන්න ඕන පොළොස් වෑංජනයවත්, මාළු කෑල්ලවත්, කුකුල් මස් කෑල්ලවත් නෙවෙයි. මේවා කෙරෙහි අප තුළ තියෙන්නා වූ තෘෂ්ණාව බැහැර කිරීමයි. අන්න එතන තමයි ප්‍රඥාව කියන්නෙ. මෙතෙන්ටයි එන්න ඕන. මෙතෙන්ට එන ගමනේ දී කෙනෙක් මස් මාළු කන්න අකමැති නම් කන්න එපා.
මගෙන් ඇහුවොත් ස්වාමීන් වහන්ස, මස් මාළු කාපුවම මට මෛත්‍රිය හීන වෙනවා කියලා, මම කියන්නෙ, එපා, ඔබ කන්න එපා කියලයි. මොකද මෛත්‍රිය අවශ්‍යය සතර අපායෙන් මිදෙන්න. සතර අපායෙන් මිදෙන්න මෛත්‍රිය අවශ්‍යයි. ඔබ මස් මාළු නොකෑම නිසා මෛත්‍රිය වැඩෙනවා නම් ඔබ මස් මාළු කන්න එපා. නමුත්, බුදුරජාණන් වහන්සේ අපට ශීලයක් හැටියට මේක දේශනා කරලා නැහැ. එහෙම නැතුව අපට ඒක කියන්න බැහැ.
එක ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටිය බොහොම වයසට ගිහිල්ල පැවිදි වෙච්ච සාමනේර ස්වාමීන් වහන්සේ කෙනෙක්. නමුත්, මේ හාමුදුරුවො හරිම සිල්වත් ස්වභාවයෙන් හිටියෙ. ඕනෑ වෙලාවක ඇස් දෙක පියාගෙන තමයි ඒ ස්වාමීන් වහන්සේ ඉන්නෙ. අපි දානෙට ගිහිල්ල දානෙට වාඩි වුනහම දන් බෙදාගෙන ගිහි අය එනකොට මං තමයි එයාට තට්ටු කරන්න ඕන. එතකොට තමයි එයා ඇස් දෙක අරින්නෙ. එතරම් සමාධිමත් සිතකින් සිටියෙ. ඉතින් දැන් මේ තරම් සමාධිමත් සිතකින් හිටියට මටත් අඳුනගන්න බෑ මොකක්ද මේ සමාධිය කියලා. මොකද හැම වෙලාවෙම එහෙම ඉන්න ක්‍රමයක් නෑනෙ. මෙහෙම ඉන්න කොට දවසක් ඒ කාලේ ඈත ආරණ්‍යයක හිටියෙ. රෑ හයට විතර හමුදාවෙ කට්ටියක් ගිහිල්ල තියෙනව ඔය කුටිය හරහා. යනකොට මේ කුටියෙ එක පාරටම මේ අය දොර ඇරලා බලනකොට මේ කුටිය ඇතුලෙ දුම පිරිල තියෙනවා දැකල තියෙනවා.
ඒ දුම කියන්නෙ මොනව හරි සිගරට් හරි, වෙන මොනව හරි මත්ද්‍රව්‍ය හරි පාවිච්චි කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. මේ සාමනේර ස්වාමීන් වහන්සේ කෙනෙක්. එයා දුස්සීල කෙනෙක්. නමුත්, ඒක කවුරුත් දැනගෙන හිටියෙ නැහැ. ඊට පස්සේ දැන් මෙහෙම වුනහම අපි දැනගත්ත මෙයා මේ මත්වෙලායි ඇස් දෙක පියාගෙන ඉන්නෙ කියලා. දැන් සංඝයාට අයිති නෑ. මොකද වයසට ගිහිල්ල මහණ වෙච්ච දුර්වල හාමුදුරු කෙනෙක්. නමුත්, මේ හැම කෙනාම රැවටිලයි හිටියෙ. එතකොට දැන් අපට තේරෙනවා මෙයා මත් වෙලායි හිටියෙ කියලා. එතකොට මම දැනගත්ත මෙයා කොච්චර පිරිසක් රැවැට්ටුවාද කියන කාරණය. මොකද ඒ දවස්වල දායක පිරිස් ආවනම් කවදාවත් අපට වන්දනා කරන්නේ නෑ. එයාට තමයි වන්දනා කරන්නේ. මොකද අපි ඇස් ඇරගෙන හිනාවෙවීනෙ ඉන්නෙ. එච්චරටම මනුස්සයො රැවටුනා…
එතකොට අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ සිද්ධිය වුණාට පස්සෙ එයා සමාධියෙන් අරමුණු කරල බලල තියෙනව මේ ස්වාමීන් වහන්සේගේ මේ අකුසල් නිසා මේ වෙලාවේ අපවත් වුණොත් මෙයා කොහේ උත්පත්තියක් ලබයිද කියලා. ඒ ස්වාමීන් වහන්සේට උතුම් සමාධියෙන් පේන්නෙ මේ කළුපාට මාළුවෙක්. දැන් ඊට පස්සේ එයා මේක එයාගෙ නුවණින් ගලපල බලනව කොහොමද මෙයා මාළුවෙක් වෙන්නෙ කියලා. එතකොට මෙයා මාළුවෙක් වෙනවා කියන්නෙ මොකක්ද.? ඒ වෙලාවේ… දැනට ඒක අදාල නැහැ. දැන් සමහර විට ඒ හාමුදුරුවො සෝවාන් වෙලා ඉන්නත් පුළුවන්. සමහර වෙලාවට එයා සතර අපායට වැටිලා පාරාජිකා වෙලා ඉන්නත් පුළුවන්. ඒ නිසා දැන් අදාල නෑ. ඒ වෙලාවෙයි මේක අදාල.
එතකොට ඒ වෙලාවේ මාළුවෙක් වෙනවා කියන්නෙ මෙයා ඒ වෙලාවෙ අපවත් වුණොත් මාළු බිත්තරයකට තමයි බහින්නෙ. දැන් අපි බලන්න ඔය පාරෙ යනකොට වෙල් අයිනේ, වැව් අයිනේ එහෙම කොක්කු ඉන්නවා. මේ කොකා එක කකුලක් උස්සගෙන සිල්ගත් සෙයියාවෙන් තමයි බලාගෙන ඉන්නෙ. ඉඳලා ළඟට එන මාළුව අල්ලගෙන කනවා. නමුත් මාළුව රැවටෙනවා කොකාට. මාළුව කවදක්වත් හිතන්නෙ නෑ කොකා මාව අල්ලන් කාවි කියලා. මොකද ඒ තරම් සිල්ගත් ස්වභාවයෙන් තමයි කොකා ඉන්නෙ. එතකොට දැන් මේ මෙහෙම මාළුවෙක් ඉපදුනහම අර සිල්ගත් ස්වභාවයෙන් ඉන්න කොකා අර මාළුවව මරාගෙන කනවා. අන්න හේතුඵල ධර්මයක්. දැන් මෙයා මෙතනට තමයි මේ යන්නෙ. ඒ කියන්නෙ දැන් මහත්තයා යනකොට මහත්තයට පෙනුනෙ කෙනෙක් මාළුවෙක් අල්ලන් කනවා. මහත්තයා කියන්නෙ අනේ පව් කියලා. පව් කියල හරියනවද..? හේතුඵල ධර්මයක්. අකුසල් විපාකයක්. මේක තමයි බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙන්නෙ මහත්තයො…
එහෙනම් මාළුවෙක් වෙලා ඉපදෙන්නෙ කවුද…? අකුසල් විපාකයක් ලබන කෙනෙක්මයි. අපට ඒ වලක්වන්න බැහැ. නමුත්, අපි මස් මාළු කන්නෙ නැත්නම් නොකා ඉන්න. අපි මස් මාළු නොකෑව කියලා ඔය සත්තු මැරෙන එක කවදාක්වත් වැලැක්වෙන්නෙ නැහැ. හෙට පාලකයෙක් මේ රටේ පහල වෙලා නීතියක් ගෙනාවොත්, හෙට ඉඳන් කිසිම හරකෙක්, කිසිම ඌරෙක්, කිසිම එළුවෙක්, කුකුළෙක්, මාළුවෙක් මරන්න දෙන්නේ නෑ කියලා අවුරුද්දක් යනකොට මහත්තයො මේ රටේ සත්ත්ව ගහණය මනුෂ්‍ය ගහණය ඉක්මවල යනවා. ඉක්මවල ගිහිල්ලා හැදෙන්නා වූ ලෙඩ රෝගවලින් මුළු මනුස්ස ගහණයම වඳවෙලා යනවා. එහෙනම් මේව යථාර්ථයන් නෙවෙයි. ලෝකය කියන්නෙ දුක. දුක කියන්නෙ මාරයාට අයිතියි. දුක කරා ලෝකය ඇදිලා යනවා. ඒක ලෝකයේ කවදාක්වත් නවත්තන්න බැහැ. අපි මේකෙන් මිදිලා යන්න ඕන. අපි මිදෙන්න නම් පාර මේකයි කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. එතන තමයි මස් මාංශ ප්‍රශ්නය ආවේ.
නමුත්, නැවතත් මම කියනවා. කැමති නම් කන්න. අකමැති නම් නොකා ඉන්න. අපි කවදාක්වත් අපට මස් මාංශ ඕන කියලා කියන්න යන්නෙ නෑ. එහෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉල්ලනවා නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙවෙයි එයා. එයාගේ ගුණයන් නැහැ. අපට ලැබෙන දේ අපි වළඳනවා. ඒ ලැබෙන දේ මස් මාංශ, එළවළු කියලා බෙදා වෙන් කරන්නෙ නැහැ. මේ සියල්ල සතර මහා ධාතුවක් හැටියට දකිනවා. දකිමින් තමයි අපි ඒ කටයුතු සිද්ධ කරන්නේ…
අතුරු ප්‍රශ්න:
ඒත් ස්වාමීන් වහන්ස, දානයට මස් මාංශ ගේන්න කියලා ඉල්ලූවොත්, දෙන කෙනාට පව් සිද්ධ වෙනවද…?
පිළිතුර:
ඉල්ලූවොත් එයාගෙ ගුණයන් නැහැ. දෙන කෙනාට පව් සිද්ධ වෙන්නෙ නෑ. කැමති දේ දෙන්න. කැමති දේ දුන්නෙ නැත්නම් එයා සතුටු වෙන්නෙ නැහැනෙ. ඉල්ලූවොත් දෙන්න. නොදී ඉන්න එපා. තේරුණාද..? එයා සතුටු කළොත්නෙ ඔබට පින ලැබෙන්නෙ නේද..? එයා සතුටු නොවී දානය වැළඳුවොත් ඔබට පින ලැබෙනවාද..? ඔබට ලැබෙනවා. ඔබේ ශක්තියෙන් ඔබට ඇති කරගන්න පුළුවන්. නමුත් ඉතින් අර හාමුදුරුවො බණ කියද්දි හරි, මොකක් හරි දෙයක් කිව්වොත් ඔබේ හිත සවුත්තු වෙනවනෙ නේද..? ඒ නිසා කැමති දේ ඉල්ලූවොත් දෙන්න. නමුත් ඒ ඉතින් අපේ තියෙන අකුසල් දරුවො. ඒව දකින්න ලැබෙන්නෙ අපේ තියෙන අකුසල් නිසා. ඔහොම ඔහොම ගිහිල්ල කාසාවකණ්ඨක කියන කෙනා සත්තු මරාගෙන කන කෙනෙක්. අරක්කු බීලා ඉන්නෙ එයා පන්සලේ. එයා ළඟට ගිහිල්ලා පන්සලේ මිනිස්සු දන් දෙනවා. මොකද එයා තමයි එදා සමාජයේ ඉන්න ලොකුම සිල්වතා. එහෙනම් සමාජය කොච්චර පිරිහීමට පත්වෙන්න ඇත්ද..? ඒ නිසා මේ දකින්නෙ මොකක්ද..? මේ ධර්මය දකින්නෙ.. මේ විනාශය දකින්නෙ… මේ දුක දකින්නෙ…
එහෙනම්, මේව දකිද්දි දානය කියන තැන කොටුවෙලා ඉන්න යන්න එපා. දන් දෙන්න. දානය තුළ කොටුවෙලා ඉන්න යන්න එපා. ඒ නිසා ස්වාමීන් වහන්සේලා ඉල්ලනවද නැද්ද කියල හිතන්න යන්නත් එපා. ඉල්ලූවොත් හදල දෙන්න. ඉල්ලූවෙ නැත්නම් ඔබ අකමැති නම් හදල දෙන්න යන්න එපා. ගිහි කාලෙ මම පන්සලේ ඉන්නකොට දවසක් රෑ 7 ට විතර පන්සලේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ල කිව්වා දීමහත්තයෝ අද හරි ප්‍රශ්නයක්නෙ මට වුණේ කියලා. මම ඇහුව මොකක්ද ස්වාමීන් වහන්ස කියලා. අද දවල් දානෙ ගෙදරකට ගියා එතනදි මම දානෙ ගන්නකොට අනේ මට එකපාරටම කෙස් ගහක් හැපුනා. මට අප්පිරියයි. මම දානෙ ගත්තෙ නෑ. අනේ දැන් නම් හරි බඩගිනියි මහත්තයෝ. මට කෑම පාර්සලයක් ගෙනත් දෙන්න කියලා රෑ 7 ට විතර කිව්වා.
අනේ මම ඒ වෙලාවෙම මගේ ගෙදරට ගිහිල්ල මට බෙදල තිබ්බ බත් එක ගෙනල්ලා දුන්න. දීල මම ග්‍රෑම් 100 බිස්කට් පැකට් එකක් කාල නිදාගත්තා. එතනදි මම හාමුදුරුවන්ගෙ වැරැද්ද හොයන්න ගියේ නෑ. හාමුදුරුවන්ට උපදෙස් දෙන්න මම ගියේ නෑ. මට අවශ්‍ය වුණේ බත් එක අතහැරලා ඒ ගන්න තියෙන ශක්තිය මට ගන්න. මං ඒක ගත්ත. අරගෙන මං මෙතන ඉන්නවා. ඒ හාමුදුරුවො කොතන ඉන්නවද කියන්න මං දන්නෙ නෑ. මට ඒක වැඩකුත් නෑ. ඒ නිසා අනුන් හොයන්න එපා දරුවො. අනුන් තුළින් ඔබ ශක්තිමත් වෙන්න, ඔබ දක්ෂ වෙන්න ඕන. ඒක තමයි දක්ෂභාවය….!!!
තෙරුවන් සරණයි…!!!
උපුටා ගැනීම – අතිපූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබූ දහම් කරුණු, පැහැදිලි කිරීම් හා අන්තර්ජාලයෙන් උපුටා ගන්නා සාකච්ඡා මගින්, විජේ ගුණවර්ධන මහතා විසින් සකස් කළ “කාලේන ධම්ම සාකච්ඡා” නම් වූ දහම් පොතෙන් ඔබ සැමගේ ධර්මාවබෝධය සඳහා උපුටා පිළිගන්වමු…!!!
උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…
අනෙකුත් දහම් කරුණු සඳහා පිවිසෙන්න – https://www.facebook.com/kaalenadharmasaakachcha/

